සම්භාව්‍ය අධ්‍යාපනයේ බිහිදොර පිරිවෙනයි. බෞද්ධ ආරාම කේන්ද්‍රකර ගත් ප්‍රමුඛ ආගමික අධ්‍යාපන ආයතනය ලෙස ඉතිහාසගත වන්නේ ද පිරිවෙනයි. මහින්දාගමනයෙන් පසු වෙනස් වන සමාජ, ආගමික පරිසරය තුළ ගොඩ නැගෙන ආරාමය, භික්‍ෂුවගේ මෙන්ම මහජනතාවගේ අධ්‍යාත්මික හා ලෞකික ජීවන හැඩ ගැස්ම උදෙසා අවශ්‍ය දැනුම සපයන කේන්ද්‍රය බවට පත්විය.

මහාවංශයට අනුව  මහාවිහාර පිරිවෙණ, මයුර පිරිවෙණ , කාලපාසාද පිරිවෙණ, අභයගිරියේ උත්තරෝළ්හ පිරිවෙණ ආදිය ආරාමික අධාපනයේ කේන්ද්‍රස්ථාන බවට පත්ව තිබූ බව සාක්ෂි සපයයි.

විවිධ යුගයන්හිදී ඒ ඒ කාලයට අනුරූපව පිරිවෙන් අධ්‍යාපනයේ කාර්යය භාරය හා ස්වභාවය වෙනස් වීමකට ලක්විය. සමීපාතීතයෙහි පිරිවෙන් අධ්‍යාපනයේ ස්වර්ණමය අවදිය ලෙස දැකිය හැක්කේ කෝට්ටේ යුගයේ පැවති පිරිවෙන් අධ්‍යාපනයයි. විෂයයන්හි විවිධත්වය හා පෘථුල බව හේතුවෙන් විදේශිකයන් පවා එම යුගයේ එම ආයතනයන් හි අධ්‍යාපනය ලැබූ බව ඉතිහාසය සාක්‍ෂි සපයයි.

        එසේ වුවත් කෝට්ටේ යුගය අවසානය භාගය වන විට ඇති වූ දේශපාලනික අස්ථාවර බව හා විදේශී‍ය ආක්‍රමණ හේතුවෙන් පිරිවෙන් අධ්‍යාපනයට අත්වූ පරිහානිය මහනුවර යුගය වන විට සාදනීය ලෙස යථා ස්වභාවයට පත්කිරීමට ගත් උත්සාහක් ලෙස, වැලිවිට සරණංකර සංඝරාජ මාහිමියන් ඇරඹු නියමකන්ද පිරිවෙන හැඳින්විය හැක. ඉන් පසු ආරම්භ වූ රත්මලාන පරමධම්ම චේතිය පිරිවෙනත්, පැල්මඩුල්ල පිරිවෙනත් ආරාමික අධ්‍යාපනයේ පුනර්ජීවනයට හේතුවක් විය. ඉන් අනතුරුව ආරම්භ වන විද්‍යොදය හා විද්‍යාලංකාර පිරිවෙන්  ශ්‍රී ලංකික නූතන පිරිවෙනේ මව් ආයතන බවට පත්විය. පසු කාලීනව විශ්වවිද්‍යාල බවට පත්වීමට තරම් එහි අධ්‍යාපන ගුණාත්මක බව හේතුවිය. මෙම ආයතන කේන්ද්‍රකරගත් පිරිවෙන්හි ශාඛා ප්‍රශාඛා ලෙස ව්‍යාප්ත වීම හේතුවෙන් නිවැරදි නියාමනයක අවශ්‍යතාව මත 1979  අංක 64 දරණ පිරිවෙන් අධ්‍යාපන පනත මගින් පිරිවෙන් අධ්‍යාපනයේ නූතන දිශානතිය තීරණය කෙරිණි.

එම පනත මගින් පිරිවෙන් අධ්‍යාපනයේ පරමාර්ථ ලෙස හඳුනාගත් වඩාත් වැදගත් අරමුණු කිහිපයකි.

  •  පරියත්ති, පටිපත්ති, පටිවේද යන ත‍්‍රිවිධ ශාසනයේ ආරක්‍ෂාව හා අභිවෘද්ධිය කෙරෙහි භික්‍ෂුන් වහන්සේලා අතර උනන්දුවක් ඇති කිරීම
  • සැරියුත් මුගලන් පරපුරෙන් පැවත එන සඟ පරපුර අවිච්ඡින්න ව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය විනය ත‍්‍රිපිටක ඥානය ධර්ම ගරුක බව භික්‍ෂුන් වහන්සේලා අතර ඇති කිරීම
  •  දේශිය හා විදේශිය ධර්මදූත මෙහෙයෙහි මෙන් ම භික්‍ෂුන් වහ්නසේලාට යෝග්‍ය වෙනත් සේවාවන් හි නිරත වීම සඳහා අවශ්‍ය ප‍්‍රායෝගික දැනුම සහශික්ෂණයක් දීම
  •  බෞද්ධ දර්ශනය, බෞද්ධ සංස්කෘතියඉතිහාසයසිංහලපාලිසංස්කෘත ඇතුළු භාෂාවන් හා විෂයාන්තර පිළිබඳ ගැඹුරු දැනීමක් ලබා
    ගැනීම සඳහා භික්‍ෂුන් වහන්සේලාට පහසුකම් සලසා දීම
    ප්‍රමුඛ පරමාර්ථ වේ.

මෙම පරමාර්ථ සාධනය සඳහා නියාමන ආයතනය වන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යාපන ශාඛාවයි. ඒ තුළින් ශ්‍රී ලංකාවේ පිරිවෙන් අධ්‍යාපනය නංවාලන්නට ගන්නා වූ ප්‍රතිපත්ති හා තීරණ යථාර්ථවත් කෙරෙමින්. පිරිවෙන් අධ්‍යානයේ උන්නතිය වෙනුවෙන් හා, අම්පාර දිස්ත්‍රික්කයේ පිරිවෙන් වල ඉගෙනුම් සම්පත් හුවමාරු කරගැනීමට, පිරිවෙන් තොරතුරු පද්ධතියක් පවත්වාගෙන යාමට හා පිරිවෙන් අතර සබඳතා ගොඩනැගීමට, තොරතුරු තාක්‍ෂණික එළැඹුමක සිට පිරිවෙන් අධ්‍යාපනය නව දිශානතියකට යොමුකිරීමට යන අරමුණු පෙර දැරිව අම්පාර දිස්ත්‍රික් පිරිවෙන් සමූහය නම් වන මෙම වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබයි.

 

ජාතික පිරිවෙන් දැක්ම

ශ්‍රී ලංකාවේ සම්භාව්‍ය අධ්‍යාපන සම්ප්‍රදාය සුරකිමින් කාලීන අවශ්‍යතාවලට යෝග්‍ය ලෙස දැනුම, ආකල්ප හා කුසලතාවලින් පිරිපුන් පැවිදි ගිහි පුරවැසි පිරිසක් බිහිකිරීම.

ජාතික පිරිවෙන් මෙහෙවර

ථේරවාදී භික්ෂු සමාජයේ මනා පැවැත්මට උරදිය හැකි ධර්මධර හා විනයධර භික්ෂු පිරිසක් හා ශ්‍රී ලංකික අනන්‍යතාව ස්ව ලක්ෂණ කරගත් පෞරුෂයක් ඇති පුරවැසි පිරිසක් බිහි කරන ආයතන පද්ධතියක් ලෙස පිරිවෙන් අධ්‍යාපන ආයතන පවත්වාගෙන යාම සඳහා කාර්යය කටයුතු ඉටුකිරීම

පූජ්‍යපාද දොඩම්පහල රාහුල හිමිපාණෝ

පිරිවෙන් අධ්‍යාපන උපදේශක පිරිවෙන් අධ්‍යාපන ශාඛාව අධ්‍යාපන අමාත්‍යාංශය

පූජ්‍යපාද වටිනාපහ සෝමානන්ද හිමිපාණෝ

අධ්‍යාපන අධ්‍යක්‍ෂ (පිරිවෙන්) පිරිවෙන් අධ්‍යාපන ශාඛාව අධ්‍යාපන අමාත්‍යාංශය

පිරිවෙන් ගීතය

%d bloggers like this: